Friday, May 3, 2013

හෘද සාක්ෂියට එරෙහිව ආත්ම වංචාව......


තිස්තුන්වෙනි වතාවටත් මම වටපිට බැලුවේ කුටිය තුලට රිංගා ගැනීමට මා අසල කවුරුවත් නොමැති බව සැක හැර දැනගැනීමටය. ඉතා පරෙස්සමින් හෙමින් සීරුවෙ හඬක් නොනැඟෙන්න  පරණ ලී දොර විවෘත කලෙමි. විදුලි බුබුල දල්වා යලිත් වතාවක් බියෙන් බියෙන් මුළු කාමරය පුරාවට මගේ දෑස් ගෙන ගියෙමි.විදුලි බුබුලෙන් විහිදෙන මලානික එළියත්,හිරු එළියක් නොවැටෙන නිසාවෙන් තිබූ පුස්ගඳත්,දූවිලි තට්ටුවකින් පිරී ගිය ලී පොලවත්,මට කාමරය තුල මහත් අපහසුතාවයක් ජනිතකරවීය.
ඇඳක්,මේසයක් සමඟ පරණ තාලයේ පුටුවකුත්,කණ්නාඩියක් සහිත පෞරාණික ලී අල්මාරියකුත් හැර මෙම කාමරය පුරාවට තිබූ හිස්බව එම අපහසුතාවය දෙගුණ තෙගුණ කරවීය.

මේ එළිය මදි යැයි සිතුනු හෙයින් කලබලයෙන් මේසය වෙත ගොස් මේස  ලාච්චුව විවර කර ඉටිපන්දමක් හා ගිණිපෙට්ටියක් සොයාගත්තෙමි.වෙව්ලනා දෑතින් ඉටිපන්දම දැල්වුවෙමි.ඇසිල්ලකින් මතක්වී පසෙකින් තිබූ නානකාමරයද හොඳින් සෝදිසි කලෙමි.ඉටිපහන් එලියෙන් මැවුනු ගුප්ත සෙවනැලි මා තව තවත් බියජනක කරමින් කාමරය පුරා අද්භූත බව විහිදුවාලනලදී


“නිකම්ම එළියට අරගන්න බෑනේ..“

කඩිනමින් අල්මාරියවෙත ගිය මා, 
 කීරිගැස්සෙන සියුම් හඬක් නංවමින් අල්මාරි පියන් විවෘතකර,ඝණකම් බ්ලැන්කට්ටුවක් ගෙන  දූවිල්ලෙන් පිරුණු ලෑලි බිම මත ඇතිරුවෙමි.කලකින් ඇවිස්සුනු දූවිලි, රටා මව මවා ඔහේ අවකාශයේ පාවිය.කැස්සක් ආ නමුත්,පිටතට ශබ්ධය ඇසේ යැයි බියෙන් අයාසයෙන් එය සිරකරගතිමි.බියෙන් බියෙන් නැවතත් වටපිට බලා හීන්සීරුවෙ ගත රැඳි සීත කබාය ඉවත්කොට මම මගේ ඇඟ තුලින් ඇයව එලියට ගත්තෙමි.

දවස පුරාවටම මඟේ ඇඟතුල, නලියමින්,තෙරපෙමින්,වැලපෙමින්,විඳවමින් සිටි ඇයව,මම හීන්සීරුවෙ බ්ලැන්කට්ටුව මත දිගාකලෙමි.


“පවු අසරණී...හෙම්බත් වෙලා හොඳටම..“

දෑස් විවරකර අවට බැලීමටවත් නොහැකි තරම් ඇය දුර්වලය.යාන්තම් විවරකල දෙනෙත් තුලින් කඳුළු නොනැවතී කඳුළු ගලන්නට විය.තුවාල පාරවල්,කැපීම්,හීරීම් තුලින් නිල් වූ ඇගේ සිරුර අභියස මා දණින් ඇදවැටුනි.


“මැරියං යකෝ මැරියං......“



ආයාසයෙන් සමච්චල් මුසු සිනාබැල්මක් මාවෙත හෙලූ ඇය නැවතත් දෑස් තදින් පියාගත්තාය.බියට පත්වී දහඩියෙන් තෙත්වූ මගේ ගත වෙව්ලන්නට පටන්ගත් අතර දෑසින් කඳුළුකැට කඩාහැලෙන්නට විය.

“දෙයියනේ මේකිට මෙච්චර හයියක් කොයින්ද?“

පිළිතුරක් නොලැබෙන මුත් මම මගෙන්ම ප්‍රශ්ණ කරන්නට විය. එකවරම ඈ හුස්මගන්නා රිද්මයේ වේගය වෙනස්විය.ඔව්... ඈ පණ අදින්නට විය.

“ඇති යාන්තන් දැන්වත්....“

බිය දෙගුණ තෙගුණ වූ මම බිම වැතිරී සිටි ඇය අසලින් ඉවත් වී මේසය අසලට බිම දිගේ ඇදී ගියෙමි.මේස කකුලක් අල්ලාගෙන බිත්තියට අතක් තබා තදකරගනිමින් ඊළඟට සිදුවීමට යන දෑ දරාගැනීමට මගේ සිත ශක්තිමත් කරගත්තෙමි.....

“හරි... මං ලෑස්තියි...“  

මා ඇයට ඇසෙන්නට පැවසුවෙමි. වේගයෙන් හුස්ම ගනිමින් යලිත් මාදෙසට හිස හැරවූ ඇය ආයාසයකින් නඟනා පුරුදු සමච්චල් සිනාවම මගේ දෙසවන් තුලට රිංගවා ලේ නහරයක් නහරයක් ගානේ බියෙන් උලුප්පා දමන ලදී.... හුස්ම ගැනීමේ රිද්මය සාමාන්‍ය විය.යලිත් වරක් ඇය මා රැවැට්ටුවාය. භීතිය ජනිත කරමින් ඇගේ හිනා හඬ කාමරය තුල රැව්දෙන්නට විය. ඇය ලේසියෙන් මා අත්නොහරින බව මට වැටහුණි.

මා තවත් ප්‍රමාද වන්නේ නැත.......හිත දැඩිකොට ගත් තීරණයෙන් මා නැගී සිටියෙමි.



මතු සම්භන්ධයි.......


(ඇත්තටම මේකෙ ඉතුරුටික ලියන්නද...?? වැඩි කොටස් ප්‍රමාණෙකට යන්නෙ නැහැ. ඊළඟ කොටසින් ඉවර කරන්නයි හිතාගෙන ඉන්නෙ.කවියට තරම්නම් දක්ෂ නැහැ... ඒ වගේ මට ලියවෙන්නෙත් නැහැ.... අඩුපාඩු මොනවද, වැරදි මොනාද කියල පෙන්වල දෙන්න පුළුවන්නම් ලොකු උදව්වක්....)