Sunday, January 29, 2012

මම මාර ආසයි...



පාළු මූසල
හිරු මළ දවසක
අන්ධකාර හවස්යාමය
එනකොටම
 සද්දෙකින් මුසල
බීරි කරගෙන
කණ්දෙක
දෙවනත් කරගෙන
අහස
නම නොදන්න
කුරුල්ලෙක් වගේ
.
.
.
.
.
.
පියාඹගෙන යන්න
...........................................



Saturday, January 28, 2012

...........




විළිලැජ්ජාවෙ

පණ යන,

හදවතේ අඳෝනාව

දරන්නට බැරුව

ඉකිගසා ආත්මය

යුක්තියක් ඉල්ලයි

මියැදෙන අධිකරණයේ
.
.
.
.
.
.
දොරටුව අභියස

....................................................




Thursday, January 26, 2012

.............................



නීරස වුවත්
කොපමණ,
පමණක් මට
සුවඳින් මන් මත්කරන
සැන්ඩි නැති 
විස්කි වීදුරුවක්
අතැතිව නිතර
හවස්යාමෙට

අනන්‍යතාවය වූ
සිගරට්ටුව රඳවා
දෙතොල්මත
පිටකරමින් විස මුසු
නිකොටින් දුම
දසත
නුඹ තරම්ම
ගුප්ත
රටා මවන

තේජාන්විත අයුරින්
හිටගෙන
එක අතක්
පිටුපසට කර
කැබින් ලාම්පු
එළිය විහිදෙන
පරණ ග්‍රෑන්ඩ්ෆාදර්
ඔරලෝසුව ගාව

හිඳින ඒ කඩවසම්
මගේ සඳ

ඉවසන්න බැරිවුනත්
  ඔහු විසින්
ටිකෙන් ටික
ඔහු මරා දැමීමම

මං ආසයි
බලන් ඉන්න
කල්පයක් හරි
ඒ තේජස

ම්හ්
තේරෙන්නෑ මට
අකුරු කරන්න
ඒ හැඟීම

පිරිමියෙක්ගෙ තේජස
ගැහැනියෙක් විඳින

..........................................................



Monday, January 23, 2012

ගන්ධබ්බ....


මතකද ඔයාට 
අපේ 
පෙම් රජදහන
බොරැල්ලෙ කනත්ත

මුළු ලොකෙටම 
හොරෙන්
පෙම් කරන්න 
වෙන්වුන අපේම
තැන


කිසි කරදරයක්
නැතුව
පටලවගෙන අත්වැල්
මිනී වලවල් මැද්දෙන්
හොයාගෙන ගිහින්
හොඳට ඉඩකඩ තියෙන
ස්මාරකයක්

වාඩිවෙලා ඒ
ස්මාරකේ උඩ
පැයගානක්
වාද කර කර 
මතකද හැදුව
අපේම ලෝකයක්
මළවුන්ගේ ලෝකයේ
හිඳ

මනුස්ස ලෝකෙ
අපිට
අපිටම කියල
බිම් අඟලක්වත්
හොයාගන්න
බැරිවුන දවසක
මතකද අපි 
දෙන්නම

එකම දවසක
වෙලා දෙකකදි
ආව මෙතනට

ස්ථීර පදිංචි කාරයො
වෙලා
මේ මළවුන්ගෙ
ලෝකයෙම

එදා ඉඳල 
අපි
කාටවත් අපිව 
නොපෙනෙන
ඒත්
හැම එකාම
අපිට පේන
මේ මනුස්ස ලොකයේ
කිසි බයක් නැතුව
අත් පටලගෙන
හැම පාරක් පාරක්
ගානෙම
ඔහේ පාවෙලා ගියා
මතකද

අපිව වෙන්කරන්න 
හදපු එවුන්ගෙ
පිටිපස්සෙන් ගිහින්
උන්ට ඇද කර කර
ඇතිවෙනකම් හිනාවුනා
මතකද

දවසක්දා ඔයයි මමයි
ගෝල්ෆේස් එක ගාව
ලයිට් කනුවක් උඩ
අත් අල්ලන්
ඉඳගෙන
මුහුද දිහා බලාගෙන
නැව් ගණන් කර කර 
ඉන්නකොට

එකපාරටම

ඔයා  ඇදිල 
ගියා
කවුද මන්ද 
ජීවත්වෙන
ගෑනියෙක් ළඟට

ඔයා දැන් 
කොහෙද
ආයෙ ඉපදිලද
නැද්ද

සුදූ මං තාම
.
.
.
.

.
.
ගන්ධබ්බ
.........................................





Saturday, January 21, 2012

කවි හිත.....



මරල දැම්ම
ඔව්...
දන්න කියන
සේරම වැඩ දාල

එහෙම හිතාගෙන
යන්න නැගිට්ට,

මෙන්න යකෝ...

ආයෙ නැගිටිනව

මොන කරුමයක්ද
මන්ද...

තැලුව..
ගලක තියල
ඒත් නැගිටිනව

වෙඩි තිබ්බ..
ඒත් හුස්ම ගන්නව

කෑලි කෑලි
වෙන්න පොල් ගැහුව
ඒත් හාවෙනව

හරි...
උඹ මරන්න බෑ...
දැනගත්ත,

හිටපිය
මම මැරෙනව

“බ්හෑංග්“...

මම වෙඩි
තියාගත්ත...

මගේ ඇස්
පියවෙනකොටත්
උඹ,
හු..ස්..ම..ග..න්..න..ව

                                                                                                           

Friday, January 20, 2012

තියෙනවද හයියක්...?


ඕනෙ නැහැ
මට...
බොරුවට පේන්න
ලෝකෙට
හත් අවුරුද්දක් තිස්සෙ
ප්ලෑන් කරල,
තියෙන තුට්ටුදෙකත්
නැතිකරගෙන
ගෝල්ෆේස් හෝටලේ
පැය ගානක
මඟුලක් නටන්න

අරලිය මල් වැටුන
පාර දිගේ
අපි
හැමදාම ආව ගිය

එකට යමු
රෙජිස්ටර් ඔෆිස් එකට
ඔයා කැමතිනම්
මේ දැන්ම,

ජීවිතේ පටන්ගමු
සුදූ අපි
ඇණෙන්න උන්ට

අපේ ආදරේ
තරම
නොතේරුණු හැම එකාටම

ඔනෙ නැහැ
මට
පැය ගානක
මඟුලක් නටන්න
ඕනෙ මට
සදහටම
ඔයත් එක්ක
ඔයා ළඟින් 
එකට ඉඳන්
ජීවිතේ දිනන්න

     ඔයා මොකද කියන්නෙ....??


Wednesday, January 18, 2012

හරිම මහන්සියි....


     

තවත් දුර යන්න 
බැහැ...
කිසි දෙයක් පේන්නැහැ
බොඳ වෙලා හතර අත
මාස ගානක් 
ගෙවිල ගිහින්

ඇදවැටුණි දෙපා 
පණ නැතිව

මිනිස් පුළුටක් 
නැති...
වතුර කළඳක්
නැති...
නම නොදත් කතරක
අතරමංව

ඉරේ අව්වට
කැරකිල්ල වගෙයි
මට...

දැන් ඕනෙ මට
නිදාගන්න...
ලස්සන හීනයක් 
දකින ගමන්
මම ආසම

ලබන ආත්මෙ
නැගිටින්න
.............................

Wednesday, January 4, 2012

"..........."



වරෙන්....
ඇවිත් යන්න මගේ
මළගමට...

දන්නව මං කොච්චර
උවමනාව තිබ්බත් උඹට
මැරෙන්න,

උඹට කලින් කොහොමත් මම
මැරෙන බව..

වැඩි ඈතක නෙමෙයි ඒ
දවස...
දන්නවද උඹ...?

මේ දවස්වල රෑට රෑට
හීනෙන් මට පේන්නෙම,
සුදු කොඩි,ගොක්කොල
බීම බෝතල්,මාරි බිස්කට්
කැරම් බෝඩ්,කාඩ් පැක්

ඇහෙන්නෙම
විලාප....

ලෑස්තිවෙන්නනම් එපා උඹ
මිනිය බදාගෙන අඬන්න
ඇහැරිච්ච ඇහැට නැති
උඹ,
පියවිච්ච ඇහැට
මොකටද....?

මතක්කරලම කාල පලයං
මගේ මළබත....